Sunday, November 12, 2017

ග්රැම්පියන ජාතික වන උයන 5: මැකෙන්සි ඇල්ල

ග්රැම්පියන ජාතික වන උයන 4: නැරඹුම් ස්ථාන කීපයක්

අපි 'රීඩ් ලුක්අවුට්' එකෙන් එළියට ගිහිල්ලා ආයිත් ප්‍රධාන පාරට දාගත්තා මැකෙන්සි ෆෝල් යන්න කියලා. මේ විදියට අපි යනකොට, අපිට හම්බ වුනා 'බොරෝනියා ලුක්අවුට්' එකට යන්න හරවන්න තියෙන පාර. සනත්ගෙ හිතේ එහෙත් යන්න. අපි එන ගනම් යං කියලා එයාව පොඩ්ඩක් නොමග යවලා, කොහොම හරි මේ දිය ඇල්ල බලන්න වැඩේ සෙට් කරගත්තා. ගොඩාක් දුර යන්න තිබ්බේ නෑ, ටික වෙලාවකින් අපි එතනට ගියා. ඉස්සෙල්ලාම අර කීව අවශ්‍යතාවය ඉටු කරගෙන, බැලුවා කොච්චර දුරද කියලා. බැලින්නං මීටර පන්දීයක් විතර තියෙනේ. අවුලක් නෑ, ගොඩ දාගන්න පුළුවන්. කොච්චර කකුල් රිදුනත් නොගිහින් ඉන්න බෑනේ දැන්. අනික සනත ආසයි දිය ඇල්ල බලන්න යන්න.

අපිට පහළට තමයි යන්න තියෙන්නේ. අපි මෙහෙම යනකොට යනකොට විස්සක තිහක විතර සෙට් එකකුත් හමබ උනා. ඒකෙන් ඉතිං අපිට උනේ අපි යන ගමනේ පතිරෝදය වැඩි උන එක. ඒකට කමක් නෑ කියලා හිතාගෙන, එයාලව ශේප් එකේ පහු කරගෙන අපි ඉදිරියට ඇඳුනා. යන්න යන්න පහළටම තමයි යැවෙන්නේ. බැලින්නං දිය ඇල්ල තියෙන්නේ පහළ අපි යන්නේ ඒකේ උඩ ඉදන් පහළට. එක තැනක තිබ්බා පොඩි අට්ටාලයක් ගහලා. අපි එතනට ගිහින් බැලුවම, මෙහෙම ලස්සනට පේනවා අපිට යන්න තියෙන ගමන් මග. ලොකූ රව්මක් හැඩේට හිමීට පහළට බහින්න ඕනී. පේන විදියට ඊට පස්සේ දිය ඇල්ල තියෙන්නේ. අපිට ඇහෙන්වා දිය ඇල්ල ලඟ ඉන්න මිනිස්සුන්ගෙ කථා සද්දේත්. ඒ කියන්නේ හරියටම අපිට පහළින් තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. දැන් නං ඉවසුමක් නෑ මෙතනට යන කං. එහෙම කියලා දුවන්න යැ, කකුල් රිදෙනවනේ. මට ආයිත් මතක් වෙන්නේ ඒ කාලේ. ඉස්සරනං අපි සුරුස් ගාලා පිම්මේ දුවගෙන යනවා, ඒක හරි විනෝදයි. අපි ඉස්සර අම්මලත් එක්ක කොහේ හරි යන කොට, අපි ඉස්සරවෙලා දූවගෙන යන්වා, ඒ කල්ලා එයාල එනකං අපි කොහෙට හරි වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. පැයකට විතර පස්සේ එයලා එනවා. අපි ඉතින් කතාවෙන් කතාවෙන් දිය ඇල්ල ලඟටම ආවා. 

මුලින් ඒක පෙනුනේ පුංචි දිය පාරක් විදියට. පොඩ්ඩ පොඩ්ඩ පහළට යනකොට තමයි එයාගේ නියම ස්වරූපය පෙන්න ගත්තේ. ඒකත් හරියට නිකං කලනය වගේ. මුලින් එක විදියක්, එයාට තියෙන්නේ අමුතු විදියක ලස්සනක්. මම මේ කීවේ 'සීමා' ගැන. ඒක ඇතුලට යනකොට යනකොට තමයි එයාගෙ නියම ස්වරූපය, නියම ලස්සන පේන්න ගන්නේ. පොඩ්ඩක් ගැඹුරින් ඒක අධ්‍යනය කරනකොට, අවකලනය මුනගැහිලා, අනුකලනය මුනගැහිලා, එයාලත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරනකොට, එයාලගෙන් වැඩ ගන්නකොට තමයි ඇත්තටම තේරෙණ්නේ කලනය කොච්චර ලස්සනයිද කියලා. මේ දිය ඇල්ලත් ඒ වගේමයි. අපි පහළට යන්න යන්න, එයාගෙ නොයෙකුත් ස්වරූපයන්, එයාගෙ ලස්සන පේන්න ගත්තා. එයාගෙ නියම ස්වරූපය පෙනුනේ පහළටම ගියාම.





 




 



අපි දිය ඇල්ල දිහා බලා ගෙන හිටිය ගොඩාක් වෙලා. අදියර තුනකින් සමන්චිත මේ දිය ඇල්ල, සීමා, අවකලනය, අනුකලනය කියන කොටස් තුනෙන් යුත් කලනය වගේම තමයි. මොකද්ද මේ 'කලනය' කියල කවුරු හරි දන්නැත්තං කරන්න තියෙන්නේ ලඟම තියෙන පොත් කඩේට ගිහිල්ලා 'කලනය' කියල තියෙන පොතක් අරන් කියනව එක. ඒක හරි වැදගත් දෙයක්. ගණිත, විද්‍යා විතරක් නෙවෙයි වානිජ, කලා ශේත්‍රයන්වල ඉන්න අයටත් කලනය භාවිතයෙන් වැඩ ලේසි කරගන්න පුළුවන්. කොහොමහරි අපි මේ දිය ඇල්ලේ සුන්දරත්වය විදිමින් ඉන්නකොට, අර කලින් කීව සෙට් එකේ එකා එක ඇවිත් නිහැඩියාවට බිදලා, කෑකෝ ගහන්නත්, නොයෙක් ආකාරයේ ලොකු ලොකු, දුරකථන, ටැබ්ලට්, කැමරා ගෙන නන් අයුරින් පිතූර ගන්න තියා ගත්ත. කොහොම නමුත් තාමත් සීත කාලේ ඉවරෙටම ඉවර නැති නිසා, කවුරුත් වතුරට නම් බැස්සේ නෑ. මෙහෙම ඉදල ඉදල, "හරි දැන් ඇති, අපි යං" කියල හිතිච්ච ගමන් අපි ආපහු හැරිලා පඩි නැගගෙන උඩට යන්න ගත්තා. 

දැන්නං කකුල් රිදෙනවා අම්බානක, ඒත් ඉතින් මේ මහ කැලයක් මැද නවතින්න යැ, රෑ වේගෙනත් එනවා. ඒ නිසා ඉතින් කොහොම හරි අමාරුවෙන් අමාරුවෙන් පියවෙරෙන් පියවර ඉහළටම ගියා සිංදුවකුත් කියාගෙනම. අර සෙට් එක තාම පහළ, සෑහෙන වෙලාවක් යයි උඩට එනකොට. පුංචි කාන්ඩක් එක්ක ගමන් යනෙ එක ලේසියි, ඉක්මන් වගේම නම්‍යශීලී. හැබැයි කට්ටිය වැඩි වෙනකොට ෆන් එකත වැඩියි. හැක්.

අපි ඇවිල්ලා වාහනේට නැංගේ, "හරී ආපහු හැරේන් ගැර්ම්පියන් වලට ආයුබෝවන්" කියලා, ස්ටාවෙල් බලා අපේ නැවතුම කරා. අපි මෙහෙම එනකොට, ආයෙන් අර එනකොට යං කියලා ඉතිරිකරගෙන හිටිය 'බොරෝනියා ලුක්අවුට්' එකට යන පාර හම්බ උනා. "දැන් ඉතින් රෑ වෙලානි, ඕනි නෑ නේද" කියල මම කීවම, "නෑ නෑ ගිහිල්ලම යං" කියල කෙලින්ම ගත්තා වමක්. මේ පාරෙ කිලෝමීටර හතරක් විතර යන්න තියෙනවා. එන්න එන්නම අවටින් කළුවර වෙනවා, පාරෙ වාහනයක් පේන්නවත් නෑ. ගොඩ වෙලාවකට පස්සේ එකක් ගියා අනිත් පැත්තට. මගේ හිතටනම් දැන් හරි බයයි. අපි හැරිලා යං කියලා කීපවිඩක්ම කීවක්, හැරෙන පාටක් නම් නෑ. අපි මෙහෙම බයන් බයෙන් යනකොට යන්කොට, පාර අයිනේ හිටියා කැන්ගරුවෙක්. ඌ අපි එනවා දැකලා, 

"ආපෝ අන්න කවුද මිනිස්සු වගයක් එනවා, විනාසයි" 

කියල කැලේට පැනලා ගියා. මම ඉතින් ටික දුර ගිහි සනත්ට කීවා, "දැක්කද කැන්ගරුවෙකුත් හිටියා, දැන් සත්තුත් පාරට එනවා, අපි යං අනේ" කියලා.

"කැන්ගරුවෙක් හිටියා? මම දැක්කේ නෑනි. මට පෙන්නන්න එපැයි"

කියලා එයා බෙරිහන් දෙනවා, කැන්ගරුවා පෙන්නුවේ නෑ කියලා. මම හිතුවෙ දැක්කා කියලා. ඇයි දෙයියනේ රියදුරු උනාම පාරෙ තියෙනෙ දේ දකින්න එපැයි. අපිට වැඩි දුර යන්න උනේ නෑ, පොට් එකට ඇවිල්ලා. පයින් යන්න දේකුත් නෑ. බැහැල ආවට පස්සේ නම් හිත පිරුනා. හරිම ලස්සනයි. ආවට පාඩු නෑ. අවට කළුවරත් එක්ක, අපි කලින් දැකපු කදු ටිකම, ඒ නිම්නෙම වෙනත් කෝණෙකින්, වෙන් මුහුණුවරකින් පේන්න තිබුනා.







 මම හිතන්නේ වෙලාව හත හමාරට විතර ඇති.  කිරිකොක් සුදින් යුත් හොදින් වැඩුනු කොක්කු කීපදෙනක්ම පහළ නිම්නයේ පියා සරමින් සිටියා. උන්ට කොච්චර ලස්සනට මේ පරිසරය පේනවා ඇද්ද කියලා, එයාල දිහත් ටික වෙලාවක් බලාන හිටියා. එතන හරිම නිස්කලංකයි. මම ඒ නිහැඩියාවට හරිම කැමතියි.

දැන් ඉතින් යන්නයි ලෑස්තිය. විනාඩි හතලිහක විතර දුරක් යන්න ඕනි අපි නවතින තැනට. මේ ගමන යන්න සැලසුම් කරේ අන්තිම මොහොතෙ නිසා, ලග පාත ලැඟුම් හල් ඔක්කොම ඉවර වෙලා අපි එකක් වෙන් කරන්න හදන කොට, ඒ නිසා ටිකක් දුර එකක් තමයි හම්බ උනේ. අපි මේ වන උයනෙන් එළියට ආවම කරන්න තිබ්බේ කෙලින්ම C261ට දාගෙන ස්ටාවෙල් යන්න. දැන්නම් හොදටම කළුවරයි, පාර හරිම පාළුයි. පාරෙ වේග සීමාව 80 උනත් ඒ වේගෙන්මනම් යන්න බෑ පුතෝ, මේ කැලේ, අනික රෑ, සත්තු පාර මාරුවෙන්න පුළුවන්. මගේ හිතට නම් හරි බයයි.

ඊ ලඟ කොටසින් බලමු අපිට කරදරගක් නැතිව නවාතැන්පොළට යන්න හැකි උනාද කියලා. සැමට ජය.

මම මේ ලියන විදිය හොඳද, අවුල්ද, විස්සර වැඩි වෙන්න ඕනිද, අඩු වෙන්න ඕනිද, ලියන එක අල්ලාම දාන්නද කියලත් වචනයක් ලියාගෙන යන්න හොඳේ.

Wednesday, November 8, 2017

ග්රැම්පියන ජාතික වන උයන 4: නැරඹුම් ස්ථාන කීපයක්


ගැර්ම්පියන් ජාතික වන උයන බලා 3: පිනැකලේ කන්ද දැකලා බඩ දනවා


අපි බඩ කට පිරෙන්නා බත් කාලා, නට් බාර් (නොයෙක් වර්ගයේ ඇට ජති වලින් හදපු අතුරුපසක්) එකකුත් කාලම එන්ජිම පණ ගැන්නුවා. දැන් අපි මේ යන්නේ 'මැකෙන්සි' දිය ඇල්ල බලන්න. එතනට යන්න කලින් හම්බවෙන නැරඹුම් ස්ථාන කීපයකත් නතර කරලා යන්න තමයි අපේ කල්පනාව. කඳුකර මාර්ගයක් නිසා වංගු බෙහෙවින් තිබුනා. වංගු සහිත පාරක් කියලා කියනකොට මට මතක් උනේ ඉස්සර පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ පේරාදෙණියෙ ඉදලා බණ්ඩාරවෙල යම ගමන. මහනුවර ඉඳලා ගම්පොළ, පුල්සැල්ලාව, නුවරඑළිය, කැප්පෙටිපෙළ, වැලිමඩ හරහා බණ්ඩාරවෙල එන ගමන, හරීම ලස්සන උනාට හිතන තරම් ලේසිනම් නෑ. මොකද මුලින්ම නුවරඑළිය කන්ද නගින්න ඕනි. ඊට පස්සේ ආයිත් කන්ද බැහැගෙන වැලිමඩට එනකල් එන්න ඕනි. ඉතින් මේ පාර හදලා තියෙන්නේ වංගු රාශියක් ඒකරාශි කරලා. කොහොම නමුත් වැලිමඩට එනකං ගමන එච්චර අමාරු නෑ, වැලිමඩ ඉදලා බණ්ඩාරවෙලට එනටික වගේ. මොකද වැලිමඩට එනකං කඳු නිසා බස් එකේ වේගය සීමා සහිතයි, කිසී කරදරයක් නැතිව ෂපාන් එකේ නිදාගෙන එන්න පුළුවන්. වැලිමඩ ඉදලා කඳු නෑ, එක මට්ම්ටමේ පාර, නමුත් පුරාම වංගු. රියදුරු උන්නැහේ පාගලා එනවා අපි සීට් එකේ එහෙට යනවා මෙහෙට යනවා, එහෙට යනවා මෙහෙට යනවා, සීට්ක්ටෙකෙක් වැටෙන්නත් යනවා, ඒත් රියදුරු මහත්තයාට ගානක්වත් නෑ, ඌ තව පාගනවා. ඒ ටික තමයි අමාරුම. 
ආයිත් අපේ ගමනට...
කොහොම නමුත් අපි එච්චර වේගෙන් ගියෙ නෑ, වෙලාව තුන විතර වෙලා තිබුනත් අපිට කිසි හදිස්සියක් තිබ්බේ නෑ. අපිට මුලින්ම හම්බ උනේ 'රීඩ් ලුක් අවුට්' කියන රීඩ් නැරඹුම. ලස්සනට අව්ව පායලා තිබ්බ නිසා ටක් ගාලා එළියට පැනලා, ගියා අවට සුන්දරත්වය බලන්න කියලා. අවට හරීම ලස්සනයි. ඒත් අපි හිටියේ කඳු ප්‍රපාතයක් උඩ නිසා, සීතල සුලගකට අහුවුනා. සුලඟ එච්චර දරුණු නැති උනත් සුළගත් එක්ක ආව සීතලනම් හරිම දරුණු මුහුණුවරක් ගත්තා. ඒ නිසා ආපහු ගිහින් මගේ කෝකටත් ජැකට් එක වෙන කළු ජැකට් එක දාගන්න මට සිද්ද උනා.









ජැකට එක දාගත්ත  වහාම මම තීරණය කරා, අර අන්තින පින්තූරෙ තියෙන, කණුවක් වගේ එකක් තියෙන තැනට ගිහින් බලන්න, මොකද්ද ඒ එතන තියෙන්නේ කියලා. අපි යන අතර මග නොයන් වර්ගයේ කැළෑ මල අපිට හමුවුනා. අපි ඒවා කැමරා කාචයේ සටහන් කරගන්නත් අමතක කරේ නෑ.










ඔන්න අපි දැන් එතනට ඇවිත් ඉන්නේ. වාව්... මාරම ලස්සනයි. එතනට වටේම පේනවා. මට මතකයි මම මෙතන ඉඳලා වීඩියෝ එකකුත් ගත්තා වටේ පේන විදිය. මෙතනත් හුලඟ ටිකක් තිබුනත් මට එච්චර දැනුනේ නෑ කළු ජැකට් එකට පිං සිද්ද වෙන්න. මම මෙතනට ගොඩාක් ආසයි. අපි මෙතන සෑහෙන වෙලාවක් හිටියා. එතන හිටපු ළමයි වගයක් හරි අපූරු පින්තූර වගයක් ගත්තා. යන්න බය හිතෙන ත්‍රාසජනක තැන්වලට ගිහිලා, නොයෙක් ඉරියව් වලින් ඒ අය පින්තූර ගමින් හිටියා, බලන්නකෝ පහළින් තියෙන පින්තූරවල එයාලා ඉන්නවා. 









අපි එතන හිටියා ඇති කියලා හිතුනට පස්සේ වාහනේ ලඟට ආවේ දිය ඇල්ල බලන්න යන්න කියලා හිතාගෙන. ඒත් එතන බෝඩ් ලෑල්ලක් ගහල තිබ්බා, 'ද බල්කනි' එකටත් යන්න, වැඩි දුරක් නෑ කිලෝමීටරයයි තියෙන්නේ විනාඩි විස්සෙන් යන්නත් පුළුවන්, තැනත් ලස්සනයි කියලා. අපිත් ඉතින් අතහැරියේ නෑ, කමක් නෑ ගිහින් බලමුකෝ කියලා යන්න පටන් ගත්තා. අපි වගේම එතනට ආ ගොඩාක් දෙකෙන් ගියා මොකද්ද මේ බැල්කනිය කියලා බලන්න. ඒක තැනි පාරක්, අර කලින් සැරේ වගේ දුශ්කර එකක් නෙවෙයි. අපි මෙහෙම යනකොට පුංචි පාලමලක් වගේ එකක් උඩින් ගියා. එතන පහළ, ගල් එක උඩ එක තියලා, සමබරතාවය රැකෙන් විදියට ගල්කණු ගල්කණු වගේ හදලා, හරි ලස්සනයි. අවුරුදු දෙකක විතර පුංචි පුතෙක් ඒ එක ගල්කණුවක් ලඟට ගිහිල්ලා "මේක මගේ" කියලා හරියට නිකක් එයා හැදුවා වගේ බෙරිහන් දෙනවා. හරි හුරතල්, හරියට ඉස්සර අපේ මල්ලි වගේ. මට හිනාව නවත්තගන්න් බැරි උනා. අපිත් ඉතින් මේ විදියට වටපිටාවෙ වෙන දේවල් බලාගෙන ඉස්සරහට ඇදෙනවා, දැන් මේ බැල්කනිය හම්බවෙයි දැන් හම්බවෙයි කියලා. අපිට වැඩි දුර යන්න හම්බ උනේ නෑ කට්ටියගේ කථා සද්දෙ පැහැදිලිව ඇහෙන්න ගත්තා. අපිට තේරුණා දැන්නම් අපි තැනට ඇවිත් ඉන්නේ කියලා. 









පේනවා නේද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක බැල්කනියක් කියලා. සමහර තරුණ ළමයි එතනට ගිහිල්ලා නොයෙක් යෝගී ඉරියව් වලින් ඉදලත් පින්තූර ගත්තා. මට නම් එතනට යන්න හරිම බය හිතුනා, ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, මගේ කකුල් දෙකා වෙව්ලනවා, ගොඩාක් කාලෙකින් එකදිගට ගොඩාක් දුර ඇවිදපු නිසා. මම ගියොත් ඔය කොතන හරි අතර මඟක ඇඳගෙන වැටෙයි කියල හිතලයි මම යන්න බය උනේ. දැන්නම් දුකයි එතනට නොගිය එක ගැන. කොහොම නමුත් හරිම ලස්සන තැනක්. කකුල් රිදෙනවා කියල එතන නවතින්නයැ අයිත් ආවා ඉතින් අමාරුවන්. ඔක්කොටම වඩා වැසිකිලියාමේ අවශ්‍යතාවය. ටක්ගාල ඇවිල්ලා වාහනේට පැනගත්තේ දැන්නම් මැකෙන්සි ෆෝල් යනවාමයි කියලා හිතාගෙන.

දැන්නම් ඉතින් මම නවනිනවාමයි, ආයෙ ඉතිරිටික පස්සෙ දවසක තමයි.

Saturday, October 28, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 3: පිනැකලේ කන්ද දැකලා බඩ දනවා

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 2

ගෑන්ඩ් කැනියන් වලින් එළියට ආ අපි, ආයිත් අපි යන්න ආ ගමන යන්න පටන් ගත්තා. මේ සැරේ අපිට තියෙන්නේ ගල් තලාව මතින් ඉහළට යන්න. මුල් හරියෙ පොඩි පඩි පෙළ් කීපයකුත් තිබුනා.  අපි පඩි හතරක් විතර උඩට යනකොට, නැගෙනහිර ආසියානු සම්බවයක් තියෙන දෙන්නෙක් අපිව පහුකරගෙන පහළට බැහැගෙන ආවා. අනේ අන්තිම පඩියෙදි ඒ ගෑණුකෙනා දඩාං ගාලා ඇදගෙන වැටුනානේ. මගෙ හිතේ මහන්සියට වෙන්නැති. අනේ ඒයාට කරදරයක් නොවේවා කියලා හිතාගෙන අපි ආයිත් ඉහළට ඇදෙන්න ගත්තා. නොයෙක් ආකාරයේ කැටයම් සහිත මනරම් ගල් කුළු කීපයක් පහු කරගෙන අපි යනවා යනවා, නොයෙන් ආකාරයේ සුන්දර තැන් අපිට හමුවෙනවා හමුවනවා ඉවරයක් නෑ. ගමන හරිම සුන්දරයි. 




එන්න එන්නම අපිට මහන්සි දැනෙනවා. අපිත් ඉතිං, ඉබි ගමනෙන් හිමීට හිමීට අමාරුවෙන් පඩිය පඩිය ඉහළට නගිනවා. ඒ අතරේ අපිට පිටුපසින් එන හැමෝම අපිව පහුකරගෙන යනවා හරියට කවුරුහරි පස්සෙන් පන්නනවා වගේ. අපිත් ඉතිං සැලෙන් නෑ යන කෙනෙක්ට යන්න කියලා අපේ වේගය තවත් අඩු කරගන්නවා, තවත් හිමින් යනවා. දර්ශනට පින්තූර ගන්නත් ඉඩක් දෙන්න එපැයි, නැත්නම් එයාගෙ හිත රිදෙනවනි. 

මෙල්බන් නගරෙයේ ලෝකෙ විවිධ රටවල් වලින් ආ මිනිස්සු බොහොමයක් ජීවත්වෙන්වා. නොයෙකු ජාතීන් වල, නොයෙකුත් තරාතිරම්වල, නොයෙකුත් වයසින් යුත් මිනිසුන් අපිට මේ ගමනේදි හම්බ උනා. වයස අවුරුදු තුන හතරෙ පුංචි ළමයින්ගේ ඉදලා අවුරුදු හැට හැත්තෑවෙ ආච්චිලා සීයලත් මේ පරිසරයේ සුන්දරත්වය අත්විදිමින් මේ දුෂ්කර ගමනට එක් වෙමින් හිටියා. අපි මේ ඉන්නේ වසන්ත සමයේ නිසා, පුරාම ලස්සන ලස්සන මල් පිපිලා. වැඩිපුරම තිබ්බේ කහ පාට මල්. ඒක ටිකක් විසාල පඳුරක හැදෙන මලක්. ලොකු ගස් යට යටි රෝපනයක් වගේ මේ පඳුරු හැදිලා, ඒවගේ මල් හැදිලා සිත්ගන්නාසුළුයි. දැක්කද අර මට පිටිපස්සේ පසුබිමේ හැම තැනම ඒ මල් පිපිලා තියෙන විදිය. 





අපිට පුංචි දිය ඇල්ලක් වගේ තැනකුත් හම්බඋනා. ඒක දැක්කහම මතක් උනේ ඔස්ටින්වල (එක්සත් ජනපදයේ) තියෙන හැමිල්න්ටන් ඇල්ල. එකක් මේ වගේ, හැබැයි මීට වඩා ගොඩාක් ලොකුයි, හරීම ලස්සනයි. ඒ දිය ඇල්ල ඇස්සෙන් ලොකූ ගුහාවක් වගේ තියෙනවා. දැන් නම් මට හරිම මහන්සියි. මම හිතාන හිටියේ අපි මේ නැගගෙන ආ කන්ද උඩට ආවම එතනින් ගමන ඉවරයි කියලා. මොන, තව හෙන දුරක් යන්න තියෙනවා. ඒ පාර හදලා තියෙන්නේ පිනකල් පොඉන්ට් එකට යන්න පුළුවන් දුරම විදියට. දැන්නම් දාඩියත් දාගෙන එනවා. මොනා කරන්නද දැං ඇති කියල ආයෙ හැරෙන්ඩයැ, ආච්චිලත් අපිව පහුකරගෙන ඉදිරියටම යනවා. අපිත් ඉතින් හා කමක් නෑ ගිහින් බලමුකෝ කියලා ආපහු හැරුන්නෑ, දිගටම ගියා. එතකොට අපිට තවත් ලස්සන තැනක් හම්බ උනා, එතනට කියන්නේ 'නිසොල්මන් මාවත' කියලා. වාව් එතන නම් පට්ට ලස්සනයි. හරියට ගල් කන්දක් මැදින් කපලා, පුංචි අඩි පාරක් හදලා වගේ. ඇත්තටම එහෙම පාරක් හැදිලා. ඒක මැදින් අපිට යන්න තියෙන්නේ. දෙපැත්තේන්ම ගොඩක් උසට විසිතුරු ගල් කදු දෙකක්, ගොඩක් දුරට විහිදිලා තියෙනවා. සමහර තැන්ල්වලි හරි පටුත් එක්ක. ටිකක් මහත කෙනෙක් ආව නම් යන්නේ කොහොමද කියලත් හිතුනා. ගොඩක් තැන් වලින් එක සැරේට යන්න පුළුවන් එක්කෙනාටයි. බලන්නකෝ,





ඔය ඈත ලා නිල් පාටට එළියක් පේන්නේ, අන්න එතනින් මේ මාවත ඉවරයි. එතනින් අන්තිමේදි ඉහළටයි යන්න තිබ්බේ, එතනත් ගොඩක් පටුයි. එතනට ආවට පස්සේ "අම්මෝ දැන් නම් ඇති, තවත් නම් බෑ" කියලා නැවතුනා. "තව වැඩි දුර නෑ" කියල පහළට බහින අය අපිව දිරිමත් කලා. වෙලාවට, නැත්තං අපි තාම එතන. අපි එතනින් පොඩ්ඩක් ඉහළට එනකොට මෙන්න මේවගේ ලස්සන ගල් කීපයක් අපිව සාදරයෙන් පිළිගත්තා.





ඔන්න දැන්නම් අපි කන්ද මුදුනටම ඇවිත් තියෙන්නේ. අවට හරිම ලස්සනයි. ගොඩාක් දුරට පේනවා. පහළින් ජනාවාස කීපයකුත් පේනවා. බැලූ බැල්මට අවටින් පේන කදු සියල්ල වගේ මං හිතන්නේ ගැර්ම්පියන් ජාතික වන උයනටයි අයිතිය. බිම් මට්ටමට වඩා ගොඩාක් උස නැති උනත්, අවට හරිම ලස්සනට පේනවා. මට එකපාරටම මතක් උනේ ඇල්ලේ ගල. එතන නම් ගොඩාක් උස තැනක්. දවසක ඒ ගමන් විස්තරෙත් ලියන්නම්කෝ. අපේ වාසනාවට මීදුම තිබුනේ නැති තිසා හිත පුරා පරිසරයේ සුන්දරත්වය විදගන්න අපිට පුළුවන් උනා. 















පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි ගෙනා බිස්කට් කීපයකටත් වගකියන්න අපිට සිද්ද උනා. එතන නරඹන්න ඇවිත් හිටපු හැමෝම වගේ මොන මොනා හරි කමින්, එක් එක් ඉරියව් වලින් පින්තූර වලට සහභාගී වෙමින්, ඉතා විනෝදයෙන් කාලය ගත කරමින් හිටියේ හැම දේම අමතක කරලා දාලා, හරියට විභාග ඉවර උනාම ළමයිට හැමදේම අමතක වෙනවා වගේ. මේ විදියට අපි මොහොතක් විනෝදෙන් ගත කරලා පහළට බහින්න පටන් ගත්තා. මේ තරම් දුර ඇවිද්දේ ගොඩාක් කාලෙකින් හින්දා මගේ ගතට හරිම වෙහෙසයි. වැඩිපුරම තිබ්බේ කකුල් රිදෙන එක. මේ කකුල් රිදිල්ලත් එක්ක පහළට බහින එක ටිකක අපහසු උනත් අපි පහළට රූටලා ආවේ ඉස්සර ඉස්කෝලෙ පඩිපෙළ් වල අයිනේ තියෙන ගැටියේ බුරුස් පදිනවා වගේ ඉක්මනිනට. හමුවෙන හැමෝම පහුකරගෙන ටක් ටක් ගාලා අපි පහළට බැහැගෙන ආවා. ඒකට බඩ ඇතුලේ පණුවේ බොක්සින් ගහන එකත් ලොකු රුකුලක් උනා. යනකොට පින්තූර සීයක් විතර ගත්තත් එද්දි ගත්තේ එකම එකයි. ඒ මේ බෝඩ් ලෑල්ලත් එක්ක.



කන්ද උඩට යන්න  පැය දෙකක් විතර ගියත් අපි විනාඩි විස්සට පහළ. ආපු ගමන් ඩුක් ගාලා වාහනේ දොර ඇරියා, කෑම ටික ගත්තා, කාගෙන කාගෙන ගියා, ඊට පස්සේ තමයි හුස්මක් ගත්තේ. ඒකත් නිකං හරියට ඉස්සර අපේ ගෙදරට කවුරු හරි නෑදෑ ළමයි එනවනං, කන්ද උඩ ඉදල උවගෙන දුවගෙන එන පිම්ම නවතින්නේ අපේ ගෙදර මිදුලේ තිබ්බ නාරං ගහ උඩට නැගලා, ගෙඩි කීපයක කෑවට පස්සේ වගේ. 

අපි කෑම ටික පැක් කරගෙන පටන් ගත්තේ ඊලඟ නැවතුම බලා යන්න. අදට නවතින්නම්, ඊලඟ සැරේ බලමු අපි කොහේටද ගියේ කියලා.