Thursday, January 28, 2016

දහය: ඉනුයා


ආයුබෝවන්!

ඔන්න ඉතින් මම අපේ අම්මිගෙ පින්තූරයනේ අන්තිමට ඇන්ඳේ. ඒත් අනේ මගේ හිත තාමත් කනස්සල්ලෙන්, මොකද කියනවනං ඊට කලින් ඇඳපු ඉනුයගෙ (කං ඉන් උ ගෙ) පින්තූරෙ අවුල් ගියානේ. පිපෙන්න බලාගෙන මගේ ලැයිස්තුවේ තව බර ගානක් මට බැන බැන හිටියත්, ඉනුයට වෙච්ච අසාධාරනේ මට ඉවසන්න බැරිව ගියා. ඒත් එක්කම මට මෙහෙම හිතුනා:

"වැඩක් කරනවනම් හරියට කරන්න ඕනි, වැරදීම් වෙනවා, එතකොට ඒවා හරිගස්සගන්න ඕනි ඊලඟ පියවරට යන්න කලින්" 

ඒ නිසා මම තීරණය කලා ඉනුයව අඳල තමයි මොනවා කෙරුවත් කොරන්නෙ කියල. කලින් සැරේ මට වැරදුනේ මම තෝරගත්ත මුල් පින්තූරෙ ඉනුය ලාවට හිනාවෙලා හිටපු නිසානේ. ඕං ඒ නිසා හොඳට හිනාවෙලා ඉන්න එකක් තේරුවා. මේ මුල් පින්තූරය හොයාගත්තෙ, 'ගන්මෑන් ඉන් ජොසන්' (gunman in Joseon, 조선 총잡이 ) නම් කොරියානු ටෙලි නාටක මාලාවේ එන 'කිම් හො-කිඔං', 김호경, කියන චරිතයෙන්. මේ චරිතයට පණ පොවන්නෙත් 'කං ඉන් උ' චරිතයට පණදුන් 'හන් ජු වොන්',
한주완 නැමති ආදරණීය රංගන ශිල්පියා. 

කං ඉන් උ ඉන්න 'හ්වාජුං' කථාවත් මේ කථාවත් හාත්පස එකිනෙකට වෙනස් උනත්, හන් ජූ-වොන් චරිතයේත් කං ඉනු චරිතයේත් පුදුමාකාර සමානකම් තමයි තියෙන්නෙ. දෙන්නම ආදරේ කරන ගෑණු ළමයා ආදරේ වෙන කෙනෙකුට, දෙන්නම තමන්ගෙ හිතේ තියෙන ආදරේ නිසාම ඒ ආදරේ හිතේම තියාගෙන ගෑණු ළමය කැමති කෙනා එක්ක එකතු වෙන්න උදවු කරනවා. දෙන්නගෙම පියතුමන්ලා සටකපට ආත්මාර්ථ්කාමීන් (තම රට වුනත් පාවා දෙන සයිස්) දෙදෙනක් වන අතර, මේ චරිත දෙකම පියතුමාලාගේ ක්‍රියාකලාපයට දැඩිසේ විරුද්දයි, ඔවුන් නීතියේ රැහැනට අල්ලාදිමට කටයුතුකරන,.....ආදී සිද්දීන් ගණනාවක්ම තියෙනවා. කොහොම නමුත් ඉතාමත් දුඛිත ජිවිතයක් ගතකරන මේ චරිත දෙකම හරිම අවාසනාවන්ත ඉරණමකට මූණ දෙනව. ඒ නිසා කිම් හො-කිඔංටත් මම කියන්නෙ 'ඉනුය' කියල.

කොහොමින් කොහොම හරි චිත්‍රය ඇන්ඳා, මේං මේ විදියට තමයි අන්තිමට ඒක නිම උනේ.


මේසැරේනම් ලස්සනට ඇඳගන්ඩ පුළුවන් උනා. යෙ...ඒ... මට හරි සතුටුයි. චිත්‍රය ගැන යමක් කීවොත්, එයා ගොඩාක් හිනාවෙලා ඉන්න නිසා ගොඩාක් ලස්සනට ආවා. එයාගෙ කට, නැහැය, ඇස් දෙක, කම්මුල්, තොප්පිය, වගේම එයාගෙ ඇඳුමත් ටිකක් පිළිවෙලට තියෙනව කියල හිතෙනව. 

මූණෙ පොඩි ඇදයක් තියෙනව වගේ පේනව, හ්ම්ම් නිකට තියෙන තැන වැරදියිනේ. නිකට ඔහෝ..ඕ..ම්ම ටිකක වමට කරල, පොඩ්ඩක් විතර දක්ෂිනාවර්තව කැරකැවීමකට බාජනය කරානං හරි. අයියෝ...ඕ... මේවගේ නස්පැත්තියක් වෙලා නෑ වෙන එහෙකටවත්. ඊලඟට බැලූ බැල්මටම පේන අවුල තමයි 'ඇහිබැම'. අනේ අම්මපා ඇත්තට ඉස්සර කාලෙ කාන්තාවො ගෙවල්වල ගොමගානව ඔයිට ලස්සනයි. ඇහිබැම ඇඳල තියෙන කැත විතරක් හ්ම්ම්ම්ම්ම්. ඇස් දෙකෙන් බලන් ඉන්න පැත්ත පො...ඩ්ඩක් විතර වෙනසක් වෙන්න ඕනි කියලත් හිතෙනව.

ඕං ඔය එහෙන් මෙහෙන් පේන කෙස් රොදවල් ටිකනම් ලස්සනට පේනව ඈ. මේවතාවෙ තමයි මට මුලින්ම ඇදුමෙ ඔය එහෙට මෙහෙට නැවිල තියෙන තැන් ටිකක් පිළිවෙලකට නවල කාරිය අඳින්න ඇහැක් උනේ. ඒ ගැනනම් හෙනටම සටුතුයි. තොප්පියේ වර්ණ ගැන්වීම පොඩ්ඩක් උසස් විදියට කලානම් තාත්විකබව පෙනේවි. ඔය තොප්පියේ අර දෙපැත්තට පිහාටු දෙකක් වගේ පෙඳි දෙකක් තියෙන්නෙ, ආං ඒකෙ තියෙන මෝස්තරේ ගන්න මට ගොඩාක් කල්පනා කරන්න උනා. මා සතුවූ සීමිත සම්පත් වලින්, තුන් හතර වතාවක් එක මත එක යම් යම් දේ කිරීමෙන් තමයි ඔය තත්වෙට එන්න පුළුවන් උනේ. ඒක හරිම වින්දනීය අද්දැකීමක් උනා. මම මේ පින්තූරෙ වැඩියෙන්ම කැමති කම්මුල් දෙකට ඊ ලඟට ඔය කීව පෙඳි දෙකට. ඔයි කම්මුල් දෙකේ මස්පිඩුවලින් එයාගෙ හිනාව ඉස්මතු කරල පෙන්වන්න මම මේ සැරේ භාවිතා කළේ 2B/3B පැන්සල්. මතක ඇතිනේ කලින් සැරේ ඉනුයගෙ පින්තූගෙ අවුල් යන්න එක හේතුවක් උනේ මම B පැන්සල්වලින් වර්ණ ගන්වන්න දන් නැති නිසානේ. ඇත්තට අම්මිගෙ පින්තූරෙටත් ඔය වැඩේම උනා. ඉතින් ඒව ඔක්කොම මකල දාල, ආයෙ HB පැන්සලෙන් තමයි අම්මිගෙ මූණෙ ඉරියව් මතුකරල ගත්තෙ. මේ සරේ මගෙ ලඟ තිබුන පින්සලක් පාවිච්චි කලා වර්ණ ගැන්වීම් කරද්දි. පින්සලේ මිනිරන්කුඩු තවරලා, කම්මුලේ මස්පිඬුවල පහළ දාරයෙන් පින්සල, කොළේට අංශක තිහක විතර ආනතියකින් පිම්බිලා තියෙන මස්පිඬු ඇතුල් පැත්තට වෙන්න පහළින් ඉහලට තෙරපපීමකට ලක් කලා කම්මුල් අඳිද්දි. මගේ උත්සාහය සාර්ථකයි නේද?

නැවතත් අපූරු මලක් අරං එන්නං. එතෙක් ඔබට ජය!



5 comments:

  1. ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  2. ඔයාගෙම විචාරය කියව කියව ආපහු ආපහු පින්තුරය දිහා බැලුවා.. :-) නැත්නම් මට ඉතින් ඕවා තේරෙන්නේ නෑනේ.. මට පේන විදියට ඇඳලා තියෙන මෑන් වැඩ ගොඩක් තියෙද්දී සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වගේ.. ඊට අමතරව චිත්‍රයේ පේන විදියට පිළිවෙලට ඇඳලා කරලා ඉන්නවා වගේ. චිත්‍රයත් පිරිසිදුවට පිළිවෙලට තියෙනවා.. ඔන්න මගේ විචාරය.

    ප.ලි. බ්ලොග් රෝල්ට අප්ඩේට් කරාට අප්ඩේට් වෙච්චි නැති සින් එකක් තිබුනා. නැවත එකතු කරා. දැන් නම් හරි වගේ :)

    ReplyDelete
    Replies
    1. මේ කලාවට මම අලුත් නිසා, මට තේරෙන්ණෙත් නෑ හරියට විස්තර කරගන්න. යන්තම් එහෙන් මෙහෙන් අමුණලා තමයි ලියන්නෙත්. මේ විදියෙ ලියමනකට අත තිබ්බෙත් මුල්ම වතාවට. ලියන්න පුරුඩු වෙන්නත් එක්ක තමයි වැඩේ පටන් ගත්තෙ.
      ඔයාලගෙන් ලැබෙන සහයෝගය මට ගොඩාක් වටිනව. ඒ වගේම මම ගොඩාක් අගය කරනව.
      මේ බ්ලොග් එක ලි‍යන්න පටන් ගත්තෙ ඇයි කියන එකත්, ඉඩිරියට කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලත් මම පෝස්ට් එකක් දාන්න හිතාන ඉන්නෙ.
      ඔයාගෙ විචාරයට සතුටුයි. ඇත්ත්ටම ඒක ඒ වගේ චරිතයක්.මගේ චිත්‍රෙන් ඒක පේනව කියල අහන්න ලැබීම සතුටක් :)

      Delete
    2. බ්ලොග් දර්ෂකයට එකතු කලාට ස්තුතියි

      Delete