Saturday, January 23, 2016

නව වෙනි පරිච්චේදය: අපේ ආදර අම්මා


ආයුබෝවන්!


මිණිරන් පැන්සල නටවන්න අරන් මාස හතරක් පහක් වෙනව, නැටුමත් අපූරුවට කෙරීගෙන යනව, ඕං ඉතින් ඊලඟ පියවර තියන්න කාලෙ ඇවිත් දොරට තට්ට්ටු කරන්න පටන් ගත්තා. මාත් ඉතින් ආය දෙපාරක් හිත හිතා හිටියෙ නෑ කෙලින්ම වැඩේට බැස්ස. හැමදාම කරනව වගේ මම ආ...ස කරන, හොඳ ලස්...සනට හිනාවෙලා ඉන්න, හරි පැහැ...දිලි පින්තූරයක් හොයන්න ගත්ත, අනේ මේ වෙන කාවෙවත් නෙවෙයි, අපේ අම්මිගෙ. අම්මි කිව්වම කට්ටියට හිතෙයි ඇයි මේ කෙල්ල මේ වගේ තැනකදිවත් අම්ම කියන්නෙ නැත්තෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි අපේ අම්මට කියන්නෙ අම්මි කියල. ඔය කට්ටිය කියනවනෙ දෙමලෙන් අම්මි කියන්නෙ මිරිස් ගලටය, අම්මි කියන්න හොඳ නැතිය අනං මනං.ඉතින් හරි වැඩක් නෙවැ දවසක් මට සිද්ද උනේ. ඔය ඉන්න ගමන් මටත් හිතුනා, අම්මිට අම්ම කියල ආමන්ත්‍රණය කරන්න ඕනිය කියල. අනේ තුන් හතර වතාවකට වඩා අම්ම කියල කථා කරන්න උනෙ නෑ. බොහොම අක...මැති ස්භාවයක්  ආරූඪ කර ගෙන, දුක... හිතුන ස්වරයකින් අපේ අම්මි කිව්වෙ නැතෑ

" අනේ මටනං අම්ම කියන්න එපා" කියල. 

අම්මිට ඒකට එච්චරටම හිත රිදෙයි කියල මට හීනෙංවත් හිතුන්නෑ. අපි, අම්මි කියල කථා කරද්දි, අම්මිට දැනෙන ආදරේ දැනිල නෑ අම්ම කියද්දි. ඕං දැන් තේරෙනව නේද තියෙන බරපතළකම. කථාවෙන් කථාවෙන් කියන්ඩ ගිය එකත් අමතක වේගෙන එනව. මමමේ කිය කියා හිටියෙ කොච්චර අමාරු උනාද කියන වගනේ, පින්තූරයක් තෝරගන්න. අන්තිමේදි මේං මේ පින්තූරෙ තමයි සුදුසුකම්ලත් පින්තූරය හැටියට ඉදිරිපත් උනේ පැන්සල් වල දඟ බලන්ඩ.


දැන් ඉතින් කෙනෙක් දෝශරෝපණය කරන්ඩත් ඉඩ තියෙනව, 'බොලා මුල් පින්තූරෙ මීට ගොඩක් වෙනස්නේ' කියල. ඔව් ඒක එහෙම තමයි, මම ඇන්ඳෙ මට මනාප හැටියට. අපිට කැමරාවකින් පින්තූරයක් ගනිද්දි කරන්න බැරි දේවල් චිත්‍රයක් අඳිද්දි කරන්න පුළුවන් නොවැ, මේ එයින් එකක් විතරයි ආයුබොවන්ඩ.

මම තෝරගත්ත පින්තූරය මීට වසර තුනකට විතර උඩදි ගත්තු එකක්. නමුත් මට අම්මිගෙ මහළු වයසෙ පින්තූරයක් අඳින්න නම් මනාපයක් නෑ. තරුණ කාලෙ පින්තූරයක් අරන් බැලුවම, ඇයගෙ ස්භාවය ටිකක් වෙනස්. ඒනිසා මම උත්සාහ කලා, අම්මිගෙ දැනට තියෙන ස්වරූපයත් වෙනස් නොකර, ඇයගේ තරුණ කාලේ ලක්ෂණත් ස්මතු වෙන විදියට අඳින්නට. මම වෙනස් කරපු දේවල් තුනක් තියෙනව; ඇයගෙ කෙස් කළඹ, ඇදුම, සහ සෙවනැලි.

මේ චිත්‍රය ගැන මට ගොඩක් සතුටුයි. මම සාර්ථක උනා කියල තමයි හිතෙන්නෙ. මේක අම්මිට පෙන්නුවාම එයා ගොඩාක්ම සතුටු උනේ කොණ්ඩෙ ගැන. 

"මගේ තරුණකාලේ කොණ්ඩෙ ඒ විදියටම ඇඳලා, ඔයා කොහොමද ඒක කළේ ?"

අනේ අම්මපා අපේ අම්මි හිතන් ඉන්නෙ මට එයාව අමතකයි කියල. 

අපේ අම්මිගෙ ඇස් සාමාන්‍යයෙන් කුඩයි, හරියට මගෙයි අයියගෙයි වගේ. අම්මිගෙ ඇස්, නාසය, කණ, මුහුණ හොඳට ආව. ඒත් ඉතින් කට තමා හරියට ගන්ඩ බැරි උනේ.

"ම්ම්ම්.... කටනම් ටිකක් වෙනස් නේද?"

ඔන්න ඔහොමයි අම්මි කට ගැන කීවෙ. ඇයගෙ ඇඳුම වෙනස් කරන්න හිතුනා, ඔසරියක් වෙනුවට. අනේ මම එයාගෙ මාලෙ අඳින්න අමතක කළා. මට හිතුනා, මට ඒක ඇඳගන්න බැරිවෙයි කියල. 

කලින් වතාවකදී වගේ මේ සැරෙත් මම සරල රාමුවකින් පින්තූරය හැඩ ගැන්වූවා. මට ගොඩක් අයට කීව, රාමුවක් පින්තූරෙට හොඳ පෙනුමක් එකතු කරනව කියල. ඉඩ තියෙන විදියට පොඩි වදන් පෙළකුත් එකතුකළා. පළවෙනිම වචනයෙන් කියවෙන්නෙ අම්මිගෙ නම. අපේ අම්මී හරී....ම ආදරණීයයි, හරි කරුණාවන්තයි, එයාගෙ ඒ ගතිගුණ පිළිඹිබු වෙන විදියට, පුංචි ආශිර්වාදයකුත් එකතු කරල තමයි මේ වදන් පෙළ ලීවෙ. කොහොම නමුත් මේ නිසදැස දැක්කම  ඈ කියනව,

"ඔයා නිසදැස් විතරද ලියන්නෙ, කවි ලියන්න බැයිද ඔයාට?"


මම වැඩිහරියක් ලියන්නෙ නිසදැස්, කවිලියන්න නම් එච්චර හැකියාවක් නෑ. අමාරුවෙන් ගැටගහල කවියක් ලීව මේං මෙහෙම

කරුණාවෙන් හද පුරවන් අපෙ ආදර           අම්මා
නිති අප සුවපත් වේවා පැතුම් පැතූ           නිම්මා
ආදර බර වදන් වලින් අප සැනසූ               අම්මා
පරම ආයු ලැබ සැනසෙන් සතුටු සිතින්       අම්මා

අම්මිගෙ තියෙන අහිංසක බව ඒ විදියටම පෙන්නුම් කරන්නට නම් නොහැකි උනා මට. ඔව් මට දැන් හිතිනෙව, කෙනෙකුට කෙනෙක්ව චිත්‍රයට නගන්න අමාරු නෑ, ඒත් ඒ කෙනාගෙ තියෙන අහිංසක බව හෝ තේජාන්විත බව හෝ දරුනු බව හෝ කරුණාවන්ත බව හෝ ඒ විදියටම පෙන්නුම් කරන්නම් ටිකක් අමාරුයි කියල. 

මේ චිත්‍රයත් ඊට පෙර නිර්මාණත් ඒ දවස් වල මම පෙන්නලා තිබ්බෙ මගෙ ස්වාමියාට, එයාගෙ මවුතුමීට, පියතුමාට, මගේ මෑණියන්ට සහ අය්යගෙ දූවරුන්ට සහ බිරිඳට විතරයි. ඒ අයගෙන් ලැබුන දිරිගැන්වීම්, සන්තෝෂවීම් නිසා තමයි මේතරම් දුරකට මට එන්න වාසනාව ලැබුනේ. ඉතින් මම කැමතියි ඒ අයට මගේ හඳපිරි ස්තුතිය.

ඔන්න ඔය විදියට තමයි අම්මිගෙ චිත්‍රයේ විස්තරය නිමා වෙන්නෙ. නැවතත් සිතුවමකින් හමුවනතුරු ජයෙන් ජය!


14 comments:

  1. Nice expressions and lovely smile.. I realized that your ammi is so adorarable even before reading the writing.. nice and highly satisfying job.. well done. Kind regards to your ammi as well 😊

    ReplyDelete
    Replies
    1. Thank you very much ayya.

      Yaah that's true, it's a highly satisfying hobby. When I was doing my BSc I wanted a paint of my portrait. Usually skilled artists sketchers students portraits at the annual university literature ceremony ('මාගේ දේශය අවදි කරනු මැන' ශිෂ්‍ය සාහිත්‍ය උළෙල) for free. No matter how hard I tried, I could not sketched my portrait by them. It was so pathetic. So, I thought It would be amazing if I can sketch my love ones.

      Delete
  2. හරි ලස්සනයි.. පැන්සල් පින්තුරේ..ජයවේවා!!!

    ReplyDelete
  3. මටනම් මොනම අඩුපාඩුවක් පේන්න නෑ
    ගොඩක් ලස්සනයි.)

    ReplyDelete
    Replies
    1. අඩුපාඩුවක් නෑ කියල අහන්න ලැබීම සතුටුයි මහේෂ්

      Delete
  4. පින්තූරෙ දැක්කම කාලෙකින් මාත් ලොකු අම්මිව බලන්න ගියෙ නෑ කියලා මතක් උනා. :-(:-(:-(
    චිත්‍රෙ ලස්සනයි. ජය වේවා අක්කියෝ !!!

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තියෙන වෙලාවක අපේ ගෙදර පැත්තෙ ගිහින් එන්න.:) ස්තුතියි මිහිරි පැටියෝ!

      Delete
    2. ඔයා එවපු තෑගිවලට අම්මිට ගොඩා...ක් සතුටුයි. ස්තුතියි කියල කියන්න කීවා.

      Delete
  5. මේ පිටුව මම් අම්මිට පෙන්නුවා. එයා එතකොට මේවිදියට කීවා
    "ඔයා කරපු දේවල් ගොඩා...ක් වටිනවා. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය දෛයිර්ය ලැබේවා! දියුණුවෙන් දියුණුවටම පත්වේවා! කරන හැම දේකින්ම සාර්ථක ප්‍රතිපළ ලැබේවා! බලාපොරොත්තු ඉටුවීමෙන් ලැබෙන මානසික සතුටු තුලින් ඉදිරියට යන්න ශක්තියක් ලැබේවා!"

    ReplyDelete