Friday, October 28, 2016

21: කිම් බ්‍යොං ය්‍යොන් සමගින් ඊ යොං: Kim Byung-Yeon and Lee Yeong


ආයුබෝවන්! 

මේ සැරෙත් චිත්‍රයක් එල්ලගෙන ආවා ඔබ හමුවට. චිත්‍රෙ ගැන විස්තර කියන්න කලියෙන් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මගේ මේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු කට්ය්ටියට මතක ඇති මම මේ චිත්‍ර අඳින්න පෙලඹවුනේ කොරියන් කථාවක් බලල කියලා. ඒ කථාව ගොතලා තිබුනේ දහ අටවන ශතවර්ෂයේ ජීවත් වුණු  'කිම් හොං දො' (1745-1806) නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ ජීවිතය පිළිබඳවයි. නානප්ප්‍රකාර චිත්‍ර මොන තරම් දැකල තිබුනත්, චිත්‍ර ගැන හරි අවබෝධයක් ලැබුනේ කිම් හොං දොගෙ චිත්‍ර දැකලයි. ඒ චිත්‍ර හරිම ජීවමානයි. එයාගෙ චිත්‍රයක් බලනකොට ඒ අවස්ථාවෙ හරියට අපි එතන හිටිය වගේ දැනෙනවා. උදාහරණයක් විදියට එයාගෙ 'මල්ලව පොරය' (wrestling) කියන චිත්‍රය හරියට නැරඹුවොත් කෙනෙකුට කියන්න පුළුවන් ඒක මොන ප්‍රාන්තයට සහ මොන වර්ගයට අයත් මල්ලව පොරයක්ද, මේ පොර බැදීම පටන් අරන් කොච්චර විතර වෙලා වෙනවද, මොනවගේ දෙන්නෙක්ද මේ පොරබදින්නේ, එයාලගෙන් කවුද දිනන්නේ, කොහොමද දිනන්නේ, කවුද ඊලඟට තරග වඳින්න ඉන්නේ, මොනවගේ කාලවකවානුවකද මේක සිදුවුනේ යනාදී සම්පූරණ විස්තරය. ඉතින් බලන්නකෝ කෙනෙක් කොහොමද එයාගෙ චිත්‍රවලට ආදරේ නොකර ඉන්නේ කියලා. 

ඇත්තටම මම මේ ලඟදි දවසක මම ඉගන ගන්න විශ්ව විද්‍යාලයේ කලා පුස්ථකාලයට ගිය වෙලාවෙ අහම්බෙන් වගේ හරිම වටින පොතක් හම්බ උනා. ඒ පොත තමයි Oh Ju-Seok රචනා කරපු Special Lecture on Korean Paintings කියන පොත*.  මේ පොතට මම ගොඩාක් ආදරෙයි. චිත්‍ර රසවිදින්න ඕනි කොහමද කියලා මම ඉගෙන ගත්තේ මේ පොතෙන්. මේ පොතේ කර් එක තැනකදි කියනවා අපේ මිනිස්සු චිත්‍ර බලන්න කියල කෞතුකාගාරයවලට ගිහිල්ලා අවම කාලෙකින් වැඩිම චිත්‍ර ගානක් කවර් කරන්නලු හදන්නේ. එහෙම නැතිව චිත්‍ර රස විදින්න යන්නේ බොහෝම සුළු පිරිසක්ලු. ඒ කථාව සහතික ඇත්ත, මම උනත් කෞතුකාගාරවලදි චිත්‍ර බලන්න ගියාට ඒවා රසවිදල නම් නෑ කවදාවත්. ඇයි අප්පා ඉතින් ඒ වගේ තැනකට ගියාම කොයිතරම් නම් දේවල් තියෙනවද බලන්න. චිත්‍ර උනත් වර්ගම කොච්චරක් තියෙනවද? ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ඔක්කොම බදා ගන්න යන එකනේ. බලන එක හරි දෙක හරි හරියට නිරීක්ෂනය කරල, ඒ කෞතුක වස්තුවෙන් දෙන පණිවිඩය හරියට තේරුම් බේරුම් කරගෙන, කාලෙ අරගෙන ඒක හොඳින් රස විදල එනවනම් ඒක නේද වටින්නේ. හරියට 

'එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
 නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු'

කීවා වගේ. එයා තව තැනකදි කියනවා එයාගෙ යාළුවෙක් දවසක් එයා වැඩ කරන කෞතුකාගාරෙදි හම්බ උනාලු චිත්‍රයක් බල බලා ඉන්නවා. ඉතින් එයා ඇහුවලු මෙ චිත්‍රෙ කොහොමද කියල. එතකොත එයාගෙ යාළුවා " ඔව් ඒක හොඳ චිත්‍රයක්" කියල එහෙම්මම යන්න ගියාලු. ඉතින් එයා අහනවා " ඒක හොඳ චිත්‍රයක් නම් ඇයි නතරවෙලා ඒක හොඳින් රස විදින්නේ නැතිව යන්නේ?" කියලා. 

මේ පොතේ විස්තර කරන චිත්‍ර වලින් 90% ක් විතරම කිම් හොං දොගෙ චිත්‍ර. මේ පොතෙන් මම ගෙඩාක් දේ දැන ගත්තා. මතක් වෙන මතක් වෙන හැටියට ටිකෙන් ටික කියන්නම්.  Oh Ju-Seok මුලින්ම කථා කරන්නේ කොහොමද චිත්‍රයක් රස විදින්නේ කියල. එයා කියනවා අපි චිත්‍ර අඳින විදිය පොත්වල ලියවිලා තිබ්බට, ඒවා රසවිදින්නේ කොහොමද කියල කොහේවත් ලියවිලා නෑනී කියල. ඉතින් එයා හිතල බැලුවලු කොච්චර විතර දුරක ඉදලද අපි චිත්‍රයක් බලන්න ඕනි කියලා. එතකොට එයාට හිතුනලු චිත්‍රයේ විකර්ණයේ දිග වගේ එක හමාරක විතර දුරක ඉදල බැලුවාම තමයි ඒ චිත්‍රය හොඳටම පේන්නේ කියල. උදාහරණයක් විදියට කියනවනම්, අපි හිතමුකෝ දිග පෙරහරක චිත්‍රයක් බලනව කියල. අපි ඒක ලඟටම ගිහින් බැලුවොත්, එක එක නැට්ටුවා විස්තරාත්මකව පෙනුනත් ඒක පෙරහැරක් කියන සංකල්පය අපේ ඔළුවට යන්නෑනි. ඒක ටිකක් දුර ඉදන් බලනකොටනේ පෙරහැරක් වගේ පේන්නේ සහ ඒ පෙරහැරේ තියන සුන්දරත්වය දැනෙන්නේ, එහෙම නේද? 

දැන් අපි මේ කථාව පෙඩ්ඩක් පැත්තකින තියල බලමුකො මේ සැරේ පිබිදුනු මල් මොනාද කියලා. මේ සැරෙත් ඉතින් ආයෙ කොරියන් කථාවකින්ම තමයි. කථාවෙ සින්හල තේරුම 'වළාකුළු අතරින් වැටුනු හඳ එළිය' (Moonlight drawn by clouds/ Love in the moonlight). මේ කථාව රජ කාලෙ වෙච්ච ප්‍රේම කථාවක්. කියල වැදක් නෑ ඒක නම් මාරයි. මෑත කාලීනව වැඩිම ඇගයීම් ප්‍රමානයක් හිමි කථාවක්. මේ කථාවෙ කිම් බ්‍යොං ය්‍යොන් (ක්වක් දොං ය්‍යෙන් 곽동연) සහ ඊ යොං ( පග් බො ගොම් 박보검) කියන චරිත දෙක තමයි මේ සැරේ පිපී හිනැහෙනේ. මුල් පින්තූරය මෙතනින් බලන්න. 




මොකද මේ චිත්‍රෙ ගැන හිතෙන්නේ? මේක ඇඳල ඉවර wඑන්නත් කලින් මගෙ මහත්තයා නම් කීවා 

"මේක තමයි ඔයා ඇඳපු හොඳම චිත්‍රෙ" 

කියලා. මේ පින්තූරෙ දකුණු පැත්තේ ඉන්නේ ඊ ය්‍යොං කුමාරයා, එතකොට වම් පැත්තෙ ඉන්නෙ එයාගෙ පෞද්ගලික ආරක්ෂකයා බ්‍යොං යොනා.

Welcome!

This sketch is about the two characters "Kim Byung Yeon" and "Lee Yeong" from the Korean TV series "Moonlight drawn by the clouds". 


* Oh Ju Seok, 'Special Lecture on Korean Painting', Hollym International Corp., USA, 2001, ISBN 978-1-56591-314-1.

1 comment: