Monday, March 21, 2016

දොළොස් වැන්න: සුං යොනා


ආයුබෝවන්!

ගොඩාක් කාලෙකින් ඔන්න ආයෙත් තවත් චිත්‍රයක් අරන් ආව.  පහුගිය ටිකේම ගොඩාක් වැඩ වැඩි උන නිසයි මොකුත් ලියා ගන්න බැරි උනේ. තාමත් වැඩ වලනම් අඩුවක් නෑ. ඒත් කොහොම හරි ලියනව කියල හිතල ලියන්න පටන් ගත්තෙ.

පහුගිය වසරේ දෙසැම්බර් මාසෙ අග හරියෙදි මම දිනපතා බල බලා හිටපු කොරියන් කතා බැලිල්ල නවත්තලා, එතුවක්ම මම ඇඳපු චිත්‍ර ගැන විස්තර ලියන්න ඕනි කියල හිතල, බ්ලොග් ලියන්න පටන් ගත්තා. එදවස මම අන්තිමට බලපු කථාව තමයි 'යි සන්'.  අන්තිමට ඇඳපු චිත්‍රය තමයි සොං යොනාගෙ චිත්‍රය. (පහුගිය ටිකේ ආයිත් කොරියන් කතා බලන්ඩ පටන් ගත්තු එකත් හේතුවක් උනා බ්ලොග් ලියන්න/කියවන්න බැරිවෙන්ඩ හික් හික් හික්. )

අද චිත්‍රය (මුල් පින්තූරය  මෙතනින්)  2008 වසරේ විකාශය වූ 'යි සන්' (이산 ) ටෙලි කථා මාලාවේ 'සොං(ගා) සුං යොන්'  (성(가) 송연) නොහොත් 'සොං යොනා' චරිතයයි. කොටස් 77 කින් යුත් මේ සොඳුරු නාට්‍ය, 1776 ජොං ජො (정조) නමින් කිරුළු පැලඳූ 'යි සොන්' රාජ කුමාරයාගේ ජීවන කථාව අලලා ගෙතුන එකකි. 'යහපත් මහරජ' නමින් මේ කථාව රූපවාහිනියේද 2014 වසරේ විකාශය කර තිබුනා. එදවස පහත් යැයි සැලකුන කුලයක උපන් සුං යොනා, ඊ සොන් ගේ කුඩා කල සිටම හොඳ මිතුරියක් වූවා. නිහතමානී චිත්‍ර ශිල්පිනියක වූ ඇය පසු කලෙක ඔහුගේ මෙහෙසියක් බවට පත්වීමට තරම් වාසනාවන්ත වූවා. 






මුල් කාලෙ වෙච්ච අකරතැබ්බියක් නිසා කාන්තාවන්ගෙ රූප අඳින එක අතෑරලදාලනි හිටියෙ. ඒත් 'ගොවං හේ' ගෙ චිත්‍රයෙන් පස්සෙ මට ආස හිතුනා කාන්තාවකගේ චිත්‍රයක් ඇඳල බලන්නට. මේ දවස්වල තමයි මට සොං යොනාව හම්බ උනේ. සුං යොනා කියන්නෙ මම ගොඩාක් ආස කරන චරිතයක්.

එයාගෙ තියෙන ලස්සන මට ඒ විදියටම ඇඳගන්න බැරි උනත්, මට පුළුවන් උපරිමයෙන්ම මම මේ චිත්‍රය නිම කලා. එයාගෙ මුහුණ හරිම පැහැපත් ඒ නිසා මට එයාගෙ මුහුණේ ඉරියව් ස්මතු කර ගන්න ටිකක් අමරු උනා. එයාගෙ ඇස් දෙකෙයි, කටෙයි තියෙන කාන්තිමත් බව මම සිතුවම් කරද්දි අතුරුදහන් වෙලා ගිහින්. ඇස් දෙකත් කටත් හරියට සිතුවම් ව්ලා නෑ කියන එකනම් හරිම පැහැදිලියි. ඇස් ස්භාවික නෑ වගෙයි. ඇහි පිහාටු අඳින්න ගියාම, කොහොමද අඳින්න ඕනි කියල මට හිතා ගන බැරි උනා. ඒ නිසා හි පිහාටුඇ ඔහේ ඇඳල දැම්ම. ඇහේ බෝලෙ තනිකරම කළු පාටින් ඇඳපු එකත් චිත්‍රෙ කැත වෙන්න තවත් හේතුවක් උනා. කටේ තියෙන මූලිකම අඩුපාඩ්ව තමයි, යටි ඇන්දෙ දත් ටික අදින්න අමතක වෙච්ච එක. දත්වල දිලිසෙන ස්භාවය පේන්නෙත් නැහැ. කොණ්ඩෙ ඉහළ කොටස අඳිද්දිත් කලබලෙන් වගේ තමයි ඇන්ඳෙ. 

ඒ කොහොම නමුත් එයාගෙ කොණ්ඩෙ පහළ කොටසටයි, ඇහි බැමි වලටයි, ඇඳුමටයි නම් මම  මාරම කැමතියි. කොච්චර අඩුපාඩු තිබුනත් සමස්තයක් වශයෙන් මම සුං යොනාගෙ චිත්‍රයට ගොඩාක් කැමතියි. මම ගොඩාක් දේවල් අඳින්න ඉගන ගත්ත මේ චිත්‍රරයෙන්.

මේ පහළින් තියෙන්නෙ අතරමැදි පියවරවල් කීපයක්. කලින් වතාවක මම චිත්‍රයක් අඳින පියවරවල් ටික පැහැදිලි කරල තියෙනව. ආයිත් මතක් කරගන්නව නම්, මම චිත්‍රයක් අඳින්නෙ මුද්‍රණය කල රූපයක් බලාගෙන. මුලින්ම, මම රූපය ස්ථාන ගත කරන තැන ගැන තීරණය කරනව (මුහුණ රූපයේ මැදට වෙන්නට, හෝ පැත්තක් බලාන ඉන්න රූපයක් නම්  බලාගෙන ඉන්න  පැත්තෙන් ඉඩ වැඩිපුර වෙන්නට, හෝ එක් ඇසක් කොළයේ හරි මැදට එන විටියට, හෝ වෙනත් කරුනක් පාදක කොටගෙන). දෙවනුව, ඊට අනුරූපව මූලික රේඛා පහක්  (1. නළලේ මැද සිට නහයේ අග කොටසේ හරි මැද හරහා යන ඇල රේඛාව, 2. නහයේ අග කොටසේ හරි මැද සිට කටේ හරි මැද හරහා යන ඇල රේඛාව, 3. හිස ඇලවී ඇති ආකාරයට සමාන්තරව සිරස් රේඛාව 4. නළල හරි මැදින් යන රේඛා අංක තුනට ලම්ඹක වූ තිරස් රේඛාව, 5.  නහයේ අග කොටසේ හරි මැදින් යන රේඛා අංක තුනට ලම්ඹක වූ තිරස් රේඛාව වශයන්) ලකුණු කරනව. තෙවනුව, මුහුණේ පිටත මායිමේ ස්ථාන හයක් ලකුණු කර ගන්නවා. මෙම ස්ථාන වනුයේ, මුහුණේ පිටත මායිමත් ඉහත සඳහන් කළ රේඛා අංක 3, 4, සහ 5 ජේදනය වන ස්ථාන හයයි. සිව්වනුව, මේ ලක්ෂ හරහා මුහුණේ පිටත මායිම සලකුණු කරනව (මොන හේතුවක් නිසාද කියල නම්  දන්නෙ නෑ, ඒත් හැමදාම වම් කණේ ඉහළ කොටසින් තමයි මම් අඳින්න පටන් ගන්නෙ). පස්වනුව, මුහුණේ ඇතුලත අවයව (ඇස්, ඇහි බැමි, නහය, කට, කන් ආදිය) ලකුණු කරනව. හයවෙනුව, අවයව එකිනෙක සසඳමින් නිවරදිව ස්ථාන ගනගත කරමින් ඒවායේ ප්‍රමාණය සහ හැඩය හරි ගස්සනව. හත්වනුව, බෙල්ල සහ ඇඳුම ලකුණු කරනව. අන්තිමේදි, සිතුවම වර්ණවත් කර ගන්නව (වර්ණ ගන්වන්න කලින් අර රේඛා ටික මකා ගන්නවා).

පස්වෙනි පියවරෙන් අනතුරුව
හයවෙනි පියවරෙන් අනතුරුව

ඔන්න ඔහොම තමයි ඉතින් චිත්‍රරේ විස්තරේ.  පින්තූරෙ වර්ණවත් කරන විදිය ඉදිරියේදි දවසක විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්. එතෙක් ඔබටත් මටත්  ජය!

No comments:

Post a Comment